(උපුල් බණ්ඩාර)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාලන සහ මානව සම්පත් සංවර්ධන අධ්‍යයක්ෂ ඩබිලිව් ඒ රණවීර මහතා එම තනතුරට පත් කර ඇත්තේ බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වන නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා එම අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිදහස් සේවක සංගමයේ භාණ්ඩාගාරික එල් ජයකාන්ත ද සිල්වා, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජේ. රොස්කි මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.
ඩබ්ලිව් ඒ රණවීර මහතා ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ රැකියාව කරන ගමන් මධ්‍යම සංස්කෘතික අරමුදලේද එකවර රාජකාරි කරමින් ආයතන දෙකෙන්ම වැටුප්, දීමනා, නිලවාහන, ඉන්ධන ලබා ගැනීමක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කරන විමර්ශනයකට අදාලව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් සාක්ෂි දෙමින් පැවසීය .
ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිදහස් සේවක සංගමයේ භාණ්ඩාගාරික එල් ජයකාන්ත ද සිල්වා මහතාට වෘත්තීය සමිති සාකච්ඡාවකින් පසුව පිටව යද්දී සභාපති කාමරයේ දොර අසලදී සහ පසුව විදුලි සෝපානය අසලදී බැණ තර්ජනය කර පහර දුන්නේ යැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත් සංවර්ධන) විජේසූරිය ආරව්චිගේ රණවීර (56) නැමැති අයට එරෙහිව කොළඹ නාරාහේන්පිට පොලීසිය විසින් අළුත්කඬේ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙමින් ජයකාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
පැමිණිල්ලට අදාලව පරීක්ෂණ පැවැත්වූ කොළඹ නාරාහේන්පිට පොලීසිය, සිදුවීම වන අවස්ථාවේ සභාපති කාමරයේ සිටි බව කියන එම අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරව්චි, අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන) සමන් කුලසූරිය හා නිදහස් සේවක සංගමයේ සභාපති එස්. පී ජයරත්න යන පුද්ගලයින්ගෙන් සාක්ෂි සටහන් කර ගෙන සීසීටීවී කැමරා දර්ශනද නිරීක්ෂණය කළ බව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු වන ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන) සමන් කුලසූරිය මහතාට මීලග නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස මෙහිදී සිතාසි නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජේ. රොස්කි මහතා මීට අදාල නඩුව 2018 පෙබරවාරි 16 වන දින නැවත කැදවන බවද දැනුම් දුන්නේය.
නඩුව ආරම්භයේදීම සිය නීතීඥවරයා මගින් වන්දියක් ලබාදී නඩුව සමතයකට පත් කර ගැනීමට කැමති බව විත්තිකාර ඩබ්ලිව් ඒ රණවීර නැමැති අය ප‍්‍රකාශ කළ අතර පැමිණිලිකාර එල් ජයකාන්ත ද සිල්වා එම යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු නඩුව විභාගයට ගැනීමට මහේස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.
සැකකාර, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත් සංවර්ධන) විජේසූරිය ආරව්චිගේ රණවීර නැමැති අය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් මේ වන විට රුපියල් ලක්ෂ දහය (10,00000/-) බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
කොළඹ නාරාහේන්පිට පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක පී ටී ලලිත් මහතාගේ සාක්ෂි මෙහෙයවීම යටතේ තව දුරටත් සාක්ෂි දුන් එල් ජයකාන්ත ද සිල්වා මහතා මෙසේ කීය.
මම වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු නිලධාරී වරයෙකු ලෙස සේවය කරනවා. ඊට අමතරව එම ආයතනයේ නිදහස් සේවක සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙසත් කටයුතු කරනවා. ඉල්ලීමක් කර කලින් දිනය හා වේලාව වෙන් කර ගෙන එවකට ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්ච් මහතා හමුවීමට 2016.08.31 දින මා පැමිණියා. ඒ වෘත්තීය සමිතියේ සභාපති එස් පී ජයරත්න මහතාත් සමග. උපදේශක වරුන්ගේ උසස්වීම් ගැටලුව සහ උදේශකවරයාට හානිදායක වන අයුරින් බදවා ගැනීමේ පටිපාටියට එක් කිරීමට සූදානම් වන සංශෝධන සම්බන්ධයෙන් අපි එහිදි කතා කළා. සභාපතිතුමා එම සාකච්ඡාව සදහා අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත් සංවර්ධන) ඩබ්ලිව් ඒ රණවීර මහතාත් කැදෙව්වා. එහිදී අපි උදේශකවරයාට හානිදායක අයුරින් බදවා ගැනීමේ පටිපාටියේ සංශෙශෝධන සම්බන්ධයෙන් වාද විවාද කළා. උපදේශකවරුන්ගේ උසස්වීම් ගැටලුව පිළිබඳවත් කතා කළා. වැඩියෙන් වාද කළේ එස් පී ජයරත්න මහතායි. එහිදී ඩබ්ලියු රණවීර මහතා මා, ඉලක්ක කර වැරදි ආකාරයට පත්වීමක් ලබා ගෙන තිබෙන බව ප‍්‍රකාශ කළා. මම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන ලෙස සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ඩබ්ලියු රණවීර මහතා අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත් සංවර්ධන) තනතුරට පත්ව ඇත්තේත් අයදුම්පත් කැදවීමක් හෝ සම්මුඛ පරීක්ෂණයක් හෝ නොපවත්වා බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් බවත් පවසා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙසත් මා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
එයට පසුව රණවීර මහතා නැවතත් අපිට බැණ වදිමින් මා මාධ්‍ය ඒකකයේ වැරදි විදියට අතිකාල හා ගමන් වියදම් ලබාගෙන තිබෙන බව ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙස මා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ඩබ්ලිව් ඒ රණවීර මහතා ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ රැකියාව කරන ගමන් මධ්‍යම සංස්කෘතික අරමුදලේත් එකවර රාජකාරි කරමින් ආයතන දෙකෙන්ම වැටුප්, දීමනා, නිලවාහන, ඉන්ධන ලබාගැනීමක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් ප‍්‍රකාශ කළා. එයින් පසු මෙම සාකච්ඡාවෙන් පලක් නොමැති බව පවසා පිටව යද්දී මේ පහර දීම සිදු වුණා.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප‍්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිති උප පොලිස් පරීක්ෂක පී ටී ලලිත්, පොලිස් කොස්තාපල් රාජගුරු (45353) යන නිළධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
Lanka Newsweek © 2026